Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2023 09:17:53 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 01) දින සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම බලකායේ භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. පසුව, එම රෙජිමේන්තු පරිශ්‍රයේ භටපිරිස් විසින් ඉදිකර තිබූ හමුදා ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදුකළ ප්‍රංශයේ හිටපු අධිරාජ්‍යයෙකු වූ නැපෝලියන් බොනපාට්ගේ පිළිරුව ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය. ප්‍රංශයේ සහ බටහිර යුරෝපයේ රටවල හමුදා සංවිධානයන්හි අමරණීය පුද්ගලයෙකු ලෙස ද එතුමන් සලකනු ලබයි.

මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් සහ නව භෝජනාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් මුල්ගල් තැබීමද සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාවේ විනය ඉහළ මට්ටමකින් පවත්වාගැනීම සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස්හි නිරන්තර කැපවීම ඇගයීමට ලක්කරමින්, යුද්ධ හමුදාවේ උන්නතිය උදෙසා එම කටයුතු ඉදිරියටද ඒ ආකාරයෙන්ම අඛණ්ඩව සිදුකරගෙන යන ලෙස උපදෙස් ලබා දුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී අතර, විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් සියලු නිළ තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට පෙර එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය. උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.