Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2023 09:14:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්ණ ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානය ඉහළ නැංවීම වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් ජාත්‍යන්තර, ජාතික, ආරක්‍ෂක සේවා සහ අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා සහ මළල ක්‍රීඩා ඉසව් තුලින් සුවිශේෂී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත වර්ණ ප්‍රදානය කිරීම සඳහා පැවති ‘යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වර්ණ රාත්‍රිය - 2023’ පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 01) දින සන්ධ්‍යාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ, ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ සහභාගී විය.

වර්ෂ 2012 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ මව්බිමට කීර්තියක් අත්කර දෙමින් ක්‍රීඩා ඉසව් 22 ක් නියෝජනය කරමින් ජයග්‍රහණ හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 210 දෙනෙකු අතරින් 37 දෙනෙකු වෙනුවෙන් මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී වර්ණ ප්‍රදානය කෙරිණි.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වි යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පොල්තෙල් පහන දල්වා රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රෙජිමේන්තුවේ අභිමානවත් ඉතිහාසය, රෙජිමේන්තුවේ ප්‍රගතිය, විනයාරක්‍ෂක රාජකාරි සහ වර්ණ ප්‍රදානය කිරීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක් සහිත වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරිණි.

වර්ණ ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට මත්තෙන් පිළිගැනීමේ කථාව පවත්වමින් මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී උත්සවයේ අරමුණ පිළිබඳව හැඳින්වීමක් සිදුකරනු ලැබීය. පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් විසින් ක්‍රීඩා ඉසව් තුලින් දක්‍ෂතා දැක්වූ එම රෙජිමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත වර්ණ ප්‍රදානය කරනු ලැබූ අතර යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම වෙතින් වර්ණවත් අංගයන් කිහිපයක් ද පැවැත්වීය.

ත්‍යාග ප්‍රදානෝත්සවය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් දේශනයක් පවත්වමින් වර්ණලාභීන් වෙත සිය සුබපැතුම් එක්කළ අතර, යුද්ධ හමුදාවේ කීර්තිනාමය තවදුරටත් ඔප්නැංවීම සඳහා ඔවුන් දිරිමත් කරනු ලැබීය. පසුව, මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සුරතින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වෙත රුපියල් මිලියනයක මූල්‍ය දිරිගැන්වීමක් ද සිදුකළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් විසින් ස්තුති කථාව පැවැත්වීය.

මෙම උත්සව අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.