Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2023 19:20:27 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් මව්බිමට සහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ විශිෂ්ඨ සේවය පැසසුමට ලක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකළ අමිල මෙහෙවර පිළිබඳව ද ඇගයීමට ලක්කළේය.

විශේෂ බලකායේ ආරම්භයේ සිට මේ දක්වා එම රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකළ මෙහෙවර මෙන්ම මානුෂීය මෙහෙයුමේදී එම රෙජිමේන්තුව වෙතින් සිදුකළ අමිල සේවය ද මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කෘතඥතාවයට භාජනය කෙරිණි. මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී ගේ අනාගත සැලසුම් පිළිබඳ විමසා බැලූ යුද්ධ හමුදාධිපතිතුමන් ඒ වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී මෙන්ම එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ වැඩිමහල් පුතනුවන් ද දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් මේ වනවිට මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැත්වෙන මූලික විශේෂ බලකා පුහුණු පාඨමාලාව හදාරමින් සිටියි. යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුගේ අනාගත හමුදා දිවියට ද සිය සුබපැතුම් එක්කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් හමුදා පුහුණුව සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින විජයබාහු පාබල රෙජිමේන්තුවට සහ වර්ෂ 1991 පෙබරවාරි මස 01 දින විශේෂ බලකාය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එතුමන් විශේෂ බලකාය වෙත අනියුක්ත කෙරිණි. යුද්ධ හමුදාව තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2022 අගොස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

යුදබිමේ දැක්වූ නිර්භීතත්වය සහ කැපවීම හේතුවෙන් එතුමන් රණවික්‍රම පදක්කම සහ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

විශ්‍රාම ලබන විට මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විශේෂ බලකායේ බලකාධිපති ධූරයන් හෙබවූවේය. එතුමන්ගේ නිකැළැල් සේවා කාලය තුළ 1 විශේෂ බලකායේ කණ්ඩායම් අණදෙන නිලධාරී, 1 විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි බලඝණයේ අණදෙන නිලධාරී, 1 විශේෂ බලකායේ දෙවන අණදෙන නිලධාරි, විශේෂ බළකා බලසේනාවේ බලසේනා මේජර්, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි, 1 විශේෂ බලකායේ අණදෙන නිලධාරි, 2 විශේෂ බලකායේ අණදෙන නිලධාරි, විශේෂ බලකා කැලෑබද සටන් පුහුණු පාසලේ සේනාවිධායක, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (දේශීය පුහුණු), නිලධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර - කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ පීඨාධිපති, විශේෂ බලකා බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක සහ 1 බලකායේ කාර්යයේ නියුතු බලකාධිපති වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී සිය හමුදා දිවිය තුළ විශේෂ බලකා මූලික පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, නිලධාරී ක්‍රියාන්විත මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, සංග්‍රාමික යතුරුපැදි පාඨමාලාව, ආපදා කළමනාකරණ පාඨමාලාව සඳහා සිද්ධි විධාන පද්ධතිය, එක්සත් ජාතීන්ගේ සිවිල් හමුදා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලාව, ක්‍රීඩා පරිපාලන පාඨමාලාව, ගෝලීය සාමසාධක මෙහෙයුම් උපදේශකවරුන්ගේ පාඨමාලාව, Gender Perspectives in United Nations Peacekeeping Operations පාඨමාලාව, කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, පාබල හමුදා තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පාකිස්ථානය, Mid-Career Course - පාකිස්ථානය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ආරක්‍ෂක සේවා තාක්‍ෂණික මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව, Train of Trainer on Gender in Peacekeeping Operations පාඨමාලාව - මැලේසියාව සහ ආරක්‍ෂක සේවා තාක්‍ෂණික මාණ්ඩලික පාඨමාලාව (යුද්ධ හමුදා) - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන), කොළඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ඉන්දියාවේ සාවිත්‍රිබායි ෆුලේ පූනේ විශ්වවිද්‍යාලයේ හමුදා තාක්‍ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි හමුදාමය නොවන පාඨමාලාව රැසක් ද හදාරා ඇත.