Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2023 08:39:29 Hours

කයිට්ස්, අරාලි තුඩුව රණවිරු ස්මාරකය අභියසදී දිවංගත ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණය කෙරේ

කයිට්ස්, අරාලි තුඩුවේදී 1992 අගෝස්තු මස 8 දින එල්ටීටීඊ ත්‍රස්වාදීන් ඇටවූ බිම්බෝම්බයකට ගොදුරු වීමෙන් මව්බිම වෙනුවෙන් දිවිපිදූ දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු අනෙකුත් වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් කයිට්ස්, අරාලි තුඩුව ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 8) දින පැවැත්විණි.

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය මත සංවිධානය කෙරුණු මෙම 31 වන ගුණ සැමරුම් උත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එල්ලකළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මෝහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටෙෆන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී.බී විජේපුර, කෝප්‍රල් ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ යන වීරෝදාර රණවිරුවන් සිය ජීවිත මව්බිම වෙනුවෙන් පුදකළහ.

මෙම සැමරුම් උත්සවය සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන සහ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණය (ස්වේච්ඡා), බලසේනාධිපතිවරුන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා භටපිරිස් ද සහභාගි වූහ.