Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2023 20:50:14 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව බලකාධිපතිතුමන් කුට්ටිගල පිහිටි එම රෙජිමේන්තු පුහුණු පාසලේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින කුට්ටිගල ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලෙහි ප්‍රථම නිල සංචාරයේ නිරත විය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායක ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම පුහුණු පාසලේ ප්‍රවර්ධනය සංකේතවත් කරමින් එම පරිශ්‍රය තුළ පැළයක් ද රෝපණය කළේය. පුහුණු පාසල් සම්මන්ත්‍රණ ශාලාවේ දී උපදේශකවරුන් ආමන්ත්‍රණය කළ බලකාධිපතිතුමන් උපදෙස් දීමේ ක්‍රමවේදය, උපදේශකයෙකුගේ ගුණාංග සහ නිරන්තර පුහුණුවේ අවශ්‍යතාවය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ අවධාරණය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එම්.ටී.සී. දිසානායක විසින් එම පුහුණු පාසලේ භූමිකාවන්, වගකීම්, පුහුණු වැඩසටහන්, පුහුණු පාසල තුළ ක්‍රියාත්මක වන පාඨමාලා සහ එම පුහුණු පාසලේ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මකව බලකාධිපතිතුමන් දැනුවත් කළේය.

බලකාධිපතිතුමන් උපදේශකවරුන්ගේ සහ සිසුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව පුහුණු පාසල් පරිශ්‍රයේ සංචාරයක නිරත වෙමින් ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්‍ෂණය කරන ලදී. මේ අතර, පුහුණු පාසල පවත්වාගෙන යන ආකාරය සහ ඉදිරියේදී යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්‍ෂිත ආකාරය පිළිබඳව ද එතුමන් වගකිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් පුහුණු පාසල් කාර්ය මණ්ඩලය සමඟින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද බලකාධිපතිතුමන් එක්විය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා ‍භෝජන සංග්‍රහයක් පැවැත්විණි.