Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2023 20:31:08 Hours

9 ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අභිමානවත් 15 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (ජූලි මස 15) දින එම රෙජිමේන්තු පරිශ්‍රයේදී අභිමානවත් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය. මෙම සංවත්සර උත්සවයේ ප්‍රථම අංගය වශයෙන් පසුගිය සෙනසුරාදා (ජුලි මස 08) දින අන්තර් බලඝණ ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණී.

ඒකක මූලස්ථානයට ආසන්නයේ පිහිටි විහාරස්ථාන පරිශ්‍රෙය්දි සහ කනකාම්බිකායිකුලම් කෝවිල් පරිශ්‍රයේදී 2023 ජුලි මස 11 සහ 12 දෙදින තුළ එම බලකායේ ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහනක් එම ඒකකයේ අණදෙන නිලධාරී ඇතුළු සියලු නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සංවත්සර දිනය යෙදෙන 2023 ජුලි මස 15 දින, ඒකක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී.එම්.එම්.බී. හේරත් ආර්එස්පී යූඑස්පී වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූළ කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

සම්මාන පෙළපාලියෙන් අනතුරුව, අණදෙන නිලධාරීතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ එතුමන් මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් භටපිරිස් ඇමතුවේය.

9 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් එම ඒකක ක්‍රීඩාංගණයේ සුහද හමුවක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ සහභාගී විය. 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එමෙන්ම, මෙම වැඩසටහනට සමගාමීව සංගීතමය සංදර්ශනයක්, නර්තන අංගයන් සහ ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.