Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2023 21:09:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය බලප්‍රදේශයේ හටගත් ලැව්ගිනි මැඩපවත්වයි

ස්වාභාවික විපත්වලට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය දක්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල ස්ථාපිත 111 සහ 112 පාබල බලසේනාවල භටපිරිස් පසුගිය දින කිහිපය තුළ මධ්‍යම සහ ඌව පළාත්වල ඇති වූ ලැව්ගිනි මැඩපැවැත්වීමට සිය දායකත්වය ලබාදුන්හ.

11 සේනාංකය යටතේ ස්ථාපිත 111 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් ඉකුත් සිකුරාදා (ජූලි 21) දින රාත්‍රියේ මහනුවර ගලතැන්න, මුල්ලපිහිල්ල ප්‍රදේශයේ පැතිරී ගිය ලැව් ගින්නක් නිවා දැමීමට කටයුතු කරන ලදී.

112 පාබල බලසේනාවේ භටපිරිස් සෙනසුරාදා (ජූලි 22) දින බදුල්ල, අලුගොල්ල ප්‍රදේශයේ අක්කර ගණනාවක වගාවන්ට හානිකරමින් පැතිරීමට ගිය ලැව් ගින්නක් සාර්ථකව පාලනය කිරීමට සමත් වූහ.

ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (ජූලි මස 23) දින අළුත්වෙල, කළුඅඹතැන්න රක්‍ෂිත ප්‍රදේශයේ විදුලි කාන්දුවීමක් හේතුවෙන් ඇති වූ ලැව්ගින්නක් නිවාදැමීමට කටයුතු කළහ. ඒ තුළින් විනාශ වීමට ගිය අක්කර 500 කට ආසන්න කැලෑබද ප්‍රදේශයක් එම ගින්නෙන් ආරක්‍ෂා කරගැනීමට හැකියාව ලැබිණි. තවද, හග්ගල ප්‍රදේශයේ විදුලි කාන්දුවීමක් හේතුවෙන් හටගත් තවත් ගින්නක් පැය කිහිපයක් ඇතුළත භටපිරිස් විසින් මැඩපැවැත්වූහ.

බදුල්ල අත්තලපිටිය ප්‍රදේශයේ හටගත් ගින්නක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පොලිසියේ සම්බන්ධීකරණ මත පාලනය කිරීමට 112 පාබල බලසේනාවේ භටපිරිස් සමත් වූහ. ගින්න පාලනය කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි සහයෝගය ද ලබාදී තිබිණි.

හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නක් නිවාදැමීමට ද ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සමත්වූහ.

ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිපි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් මෙම ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ. තවද, මෙම ලැව්ගිනි පාලනය කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්වලට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ද හිමිවූහ.