Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2023 09:13:06 Hours

බස් රථ අනතුරක් වළක්වා මඟින් රැසකගේ දිවි බේරාගත් යුද්ධ හමුදා කොමිෂන් නොලත් නිලධාරියා අග්‍රාමාත්‍යතුමන්ගේ ඇගයීමට

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබියදී ප්‍රපාතයකට පෙරලී අනතුරකට ලක්වීමට ගිය බස් රථයක් එම අනතුරින් මුදවාගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් බී.ආර්.කේ.එල්. කරුණාරත්න පසුගිය දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ඇගයීමට ලක්විය. එම යුද්ධ හමුදා සාමාජිකයාගේ කඩිනම් ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවීමට තිබූ මහත් ව්‍යයසනයක් වැළකුණු අතර ඉන් බස් රථයේ ගමන්ගත් මඟීන් 50 කට අධික පිරිසකගේ ජීවිත බේරාගැනීමේ හැකියාව ලැබිණි.

2023 මැයි මස 26 දින අනතුරට ලක්වීමට ගිය මෙම බස් රථය උඩුදුම්බර මාර්ගය හරහා ධාවනය වෙමින් තිබියදි බස් රථයේ රියදුරු, අසුනෙන් ඉවතට විසි වී බස් රථය රියදුරු නොමැතිව මීටර් පනහක් පමණ දුරක් ධාවනය වී ඇත. එම අවස්ථාවේදී, අදාළ බස් රථයේ ගමන් ගත් යුද්ධ හමුදා කොමිෂන් නොලත් නිලධාරියා කඩිනමින් ක්‍රියාත්මක වී රියදුරෙකු නොමැතිව විශාල පර්වතයක් දෙසට ධාවනය වෙමින් පැවති බස් රථය දැඩි පරිශ්‍රමයක් දරා නවත්වාගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සමත් විය.

(මූලාශ්‍රය: ඩේලි නිවුස්)