Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2023 11:34:44 Hours

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පැසිපන්දු පිටිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව පැසිපන්දු පිටිය පසුගිය සෙනසුරාදා (ජූලි මස 08) දින උදෑසන පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණී.

ක්‍රීඩාගාරයකින් සමන්විත නවීන පහසුකම්වලින් සපිරි නව පැසිපන්දු පිටිය තුළ සන්ධ්‍යා කාලයේදී පවා අපහසුතාවයකින් තොරව තරඟ පැවැත්වීමේ හැකියාව ඇත. මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අධීක්‍ෂණය මත මෙම පැසිපන්දු පිටියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

සමාරම්භක උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම් දෙකක් අතර සුහඳ පැසිපන්දු තරඟයක් ද පැවැත්විණි. තරඟය සමාප්තියේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් සහභාගිවූවන් සඳහා සහතිකපත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.