Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2023 20:21:21 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත අවසන් ගෞරව දක්වයි

වසර 28 කට වැඩි කාලයක් රට වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (07) දින පස්වරුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් හෝමාගම, ගලවිලවත්ත - නියදගල සුසාන භූමියේදී සිදුකෙරිණි.

යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බලකාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ අවමංගල්‍ය උත්සවයට පැමිණ දේහය වෙත අවසන් ගෞරවාචාර දක්වා පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය. දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන් සහ පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ. ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ඉකුත් බදාදා (05) දින හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව දැයෙන් සමුගත්තේය.

ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාතුගැල (gun carriage) මත අභිමානවත් අයුරින් තැන්පත් කර යුද්ධ හමුදා භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ අභාවප්‍රාප්ත ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ ගේ දේහය වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුදකළහ. හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස්. රණසිංහ ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ආධුනිකයින් බදවාගැනීමේ නිලධාරි කර්නල් එන්.එච්.ජේ මංගල සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් බී.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.ඒ.බී තෝරදෙණිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අභාවප්‍රාප්ත ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී. දිවංගත ලුතිනන් කර්නල් ආර්.පී.කේ.එස්.එස් රණසිංහ 2009 මැයි මාසයට පෙර මානුෂීය මෙහෙයුම්දී උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවාගැනීම වෙනුවෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: