Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2023 21:50:51 Hours

යුද්ධ හමුදා භටපිරිස් ධර්මපාල විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වයි

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් එම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් 68 දෙනෙකු සඳහා එක් දින නායකත්ව පුහුණු වැඩසටහනක් උතුරු කොට්ටාව ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුනි 24) දින පැවැත්වීය.

නායකත්ව පුහුණු වැඩසටහන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබීය. එහිදී එම සිසුන්ගේ නායකත්ව ගුණාංග, කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම, කණ්ඩායම් ගොඩනැගීම හා කණ්ඩායම් හැකියාවන්, පෞරුෂත්වය සහ සමාජ ආචාර විධි ආදිය වර්ධනය කිරීම යනාදි කරුණු පිළිබඳව සාකඡ්චා කරන ලදී.

නායකත්වය පිළිබඳ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා දේශන, ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම් පැවති අතර, නායකයෙකු ලෙස යථාර්ථවාදී ප්‍රවේශයන් හරහා අධිෂ්ඨානශීලීව අභියෝගයන් වලට මුහුණ දීමට නායකත්වයේ නිපුණතාවයන් ගොඩනැගීම පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

පුහුණු වැඩසටහන අවසානයේ සහතික පත් ප්‍රදානය කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති උදයරුවන් මල්ලිකාරච්චි මහතා සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් එම්.ඩී.ජේ වික්‍රමාරච්චි යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පුහුණු උපදේශකවරුන්, ගුරුභවතුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු ද සහභාගි වූහ.