Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 17:15:09 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස ඉකුත් සෙනසුරාදා (ජුනි 10) දින දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී එම රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් සමඟ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ධූරයේ රාජකාරීන් භාරගැනීමට ප්‍රථම එතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදි යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර පුද කළේය. පසුව එතුමන් වෙත භටපිරිසක් විසින් හමුදා සම්ප්‍රදායානූකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව පැවති සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහාද එතුමන් සහභාගී විය. එම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.