Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 18:30:24 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 4 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එස්. ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ඉකුත් බ්‍රහස්පතින්දා (ජූනි 08) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්. ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී භාරගනු ලැබීය.

නව ඉංජිනේරු සේනාංකාධිපති තුමන් භටපිරිස් අමතමින්, තමන් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුද කරන ලදී. තවද එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ හිටපු සේනාංකාධිපතිවරුන් සේනාංකය නගාසිටුවීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔවුන් වෙත ද සිය ස්තුතිය පුද කළේය.

එහිදි, එතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ඉංජිනේරු බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙත කෘතඥතාවය පුද කළේය. දේශනය අතරතුර, ආයතනික අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා කණ්ඩායමක් වශයෙන් කැපවීමෙන් කටයුතු කිරීමේ සහ විනය ගරුකව රාජකාරී සිදුකිරීමේ වැදගත්කම පිළිබඳවද කරුණු අවධාරණය කළේය.

උත්සව අවස්ථාව සඳහා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී, යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති (කාර්යයේ නියුතු) කර්නල් එච්.එස්.කේ ජයසිංහ ආර්එස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ එම සේනාංකයේ කාර්යය මණ්ඩලය ද සහභාගි වූහ.

මීට පෙර මේජර් ජෙනරල් එස්. ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 23 සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි හොබවනු ලැබීය.