Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2023 18:48:45 Hours

රණවිරු සෙවණේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

රාගම ප්‍රදේශයේ පිහිටි රණවිරු සෙවණේ නව සේනාවිධායක ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් භාතිය මදනායක පසුගිය අඟහරුවාදා (මාර්තු මස 07) දින සිය කාර්යාලයේදී පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. රණවිරු සෙවන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් භාතිය මදනායක වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් භාතිය මදනායක සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ඇමතූ බ්‍රිගේඩියර් භාතිය මදනායක එම සුවතා නිකේතනයේ වාට්ටු වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් සහ ඔවුන් වෙත ලබාදී ඇති පහසුකම් පිළිබඳව සොයාබලනු ලැබීය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් ජීවන් ගුණතිලක විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් භාතිය මදනායක මෙම ධූරය සඳහා පත්කෙරිණි.