Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2023 21:40:25 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා ගෞරවාචාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නව නිල ලාංඡනය පැළදීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (04) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංක භටපිරිස් සහ එම සේනාංකය යටතේ ඇති බලසේනාවන්හි සහ ඒකකයන්හි භටපිරිස් මූලිකත්වයෙන් අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය.

24 වන පාබල සේනාංකය වෙත සපැමිණි මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූ අතර, අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් එතුමන් ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. පසුව හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

එම අවස්ථාව සිහිවනු වස් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ ‘සල්’ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව එම සේනාංකයේ සියළුම නිලයන් අමතමින් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළේය.