Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2023 20:49:09 Hours

12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි කටයුතු අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී පසුගිය සඳුදා (6) දින හම්බන්තොට, නාගරවැව 12 පාබල සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 12 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

එතුමන්, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින් නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී අනතුරුව එම සේනාංක මූලස්ථානයේ සියලු භටපිරිස් අමතමින් තම අනාගත දැක්ම පිළිබද පැහැදිලි කළේය.

උත්සව අවස්ථාව සඳහා එම සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 12 පාබල සේනාංකයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.