Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2023 21:44:07 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සෙනසුරාදා (මැයි මස 20) දින උදෑසන සඳ හිරු සෑ පරිශ්‍රයේ පැවැත්වුණු රණවිරු සැමරුම් උත්සවයට සහභාගිවීමට පැය කිහිපයකට ප්‍රථම රුවන්වැලි මහා සෑය වෙත ගොස් එම පුදබිමේ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

රුවන්වැලි මහා සෑ රඳුන් වෙත ගිලන්පස පූජා කර වන්දනාමාන කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එක්ව අනුරාධපුර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 750 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කළහ. රුවන්වැලි මහා සෑයේ සහ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ‘EWIS’ සමාගම් සමූහය එක්ව අනුග්‍රාහකත්වය දැක්වූහ.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් විසින් අනුරාධපුර අටමස්ථානයේ භික්‍ෂූන් වහන්සේලාව වෙත ‘පිරිකර’ පූජාකළහ. අනතුරුව, එම භික්‍ෂූන් වහන්සේලා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හො තී තාන් කෘක් (Ho Thi Thanh Truc) මහත්මිය, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් එම්.ඊ.පී. වීරසිංහ යූඑස්පී ඒටීඕ, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ‘EWIS’ සමාගම් සමූහයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා සහ ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.