Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2023 18:36:13 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 11 වන කර්නල් සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය සඳුදා (මැයි මස11) දින කොළඹ 05, පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි ආරම්භ කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. අබේසිංහ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. රෙජිමේන්තු සරඹ භූමියේදී සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව කර්නල් සේනාවිධායකතුමන් භටපිරිස් අමතමින් එම රෙජිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ගේ අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම උත්සව අවස්ථාවට සහභාගී නොවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ඇමතීමෙන් අනතුරුව නව කර්නල් සේනාවිධායකතුමන් උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.