Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2023 19:19:24 Hours

අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට ආයුර්වේද මධ්‍යස්ථානයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සංකල්පයකට අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය ඇතිව මානූෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා ඉකුත් බදාදා (11) දින ‘මිහිඳු ආයුර්වේද සුව අරණ’ නමින් ආයුර්වේද ඖෂධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.

ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී. එස් බාලසූරිය ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර තවද එම අවස්ථාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

‘මිහිදු සෙත් මැදුර’ වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය ද සහභාගී විය.

සුවතා නිකේතනය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මැතිණිය එක්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ සුව දුක් විමසා ඔවුන් වෙත නව වසරට සුභපැතුම් එක්කරමින් ත්‍යාග පාර්සල් බෙදා දුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කරමින් නව ‘මිහිඳු ආයුර්වේද සුව අරණ’ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කළ අතර, එහිදි වෛද්‍යවරුන් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත විය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තම මාතෘ භූමියේ ඒකීය භාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් තම ඇස් ඉස් මස් දන්දුන් වීරෝදාර රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවෙමින් ඔවුන්ගේ සුවදුක් සහ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන ලද අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් එම වීරෝදාර රණවිරුවන් අමතමින් ‘‘ඔබගේ පරිත්‍යාගය මම බෙහෙවින් අගය කරන අතර ඔබගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා යුද්ධ හමුදාව පූර්ණ කැපවීමෙන් අඛණ්ඩව කටයුතු කරන බව’’ පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝණ් එච්ඩීඑම්සී එල්එස්සී, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී වනිගසේකර යූඑස්පී, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.