Header

Sri Lanka Army

Defender of the Nation

09th January 2023 19:27:41 Hours

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන්ට විදේශීය රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව ඇරඹේ

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විදේශ රටවල රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් විශ‍්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සකසන ලද ‘මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලා අංක - 1’ සමාරම්භක උත්සවය අද (09) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් ආරම්භ කරන ලද මෙම පාඨමාලාව විශ්‍රාමගැනීමෙන් අනතුරුව බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා විදේශයන්හි යෙදවිය හැකි සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අදියර තුනක් යටතේ පැවැත්වීමට අපේක්‍ෂා කෙරේ.

මෙම සමාරම්භක පාඨමාලාව නුදුරේදී විශ්‍රාම ගැන්වීමට නියමිතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා උපසේවයට අයත් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 152 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිත අතර එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම පාඨමාලාව සඳහා බඳවාගැනීමට නියමිතව ඇත. ජනවාරි මස 12 දින ආරම්භ කරනු ලබන මෙම පාඨමාලාව 2023 පෙබරවාරි මස 06 දින බූ ඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී අවසන් කිරීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර නියෝජිත ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන හරහා විදේශ රැකියා සඳහා යෙදවීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය ලබාගැනීමත් විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විශ්‍රාමික ජීවිතය ආර්ථික දුෂ්කරතාවයකින් තොරව අර්ථවත් අයුරින් ගතකිරීමට අවස්ථාව සලසාදීමත් ප්‍රධාන අරමුණ කරගනිමින් මෙම පාඨමාලාව ආරම්භ කර ඇත.

මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු හා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ආරම්භක දේශනය පැවැත්වූ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් පාඨමාලාවේ විෂය මාලාව සහ එම පාඨමාලාව හැදෑරීමේ ප්‍රයෝජන පිළිබඳව පැහැදිලි කරන ලදී. ඉන් අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය දේශනය පැවැත්වීය.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් සිදුකළ දේශනයේදී ජාත්‍යන්තර වශයෙන් බොහෝ රැකියා අවස්ථා පවතින මෙවැනි වෘත්තීමය පාඨමාලා හැදෑරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. යුද්ධ හමුදා සාමාජිකයින් තම සේවා කාලය තුළ විවිධ වෘත්තීමය ක්ෂේත්‍රයන්හී සුදුසුකම් ලබා ඇති බැවින් විශ්‍රාම ගැන්වෙන සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් කිසිදු දුෂ්කරතාවයකින් තොරව සුවපහසු ජීවිතයක් ගතකළයුතු බව ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

පාඨමාලාවේ සමාරම්භක උත්සවයේදී, පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සියලුම සහභාගිවන්නන්ට මූල්‍ය ප්‍රදානයක් ද සිදුකරනු ලැබූ අතර එම මූල්‍ය ප්‍රදානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් බළලත් නිලධාරි I ඩබ්ලිව.ඒ.එම්. සිරිනන්ද වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.