Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2023 21:03:05 Hours

121 වන බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් යාල අභයභූමිය තුළ පැළ 60,000 ක් රෝපණය කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් යාල අභයභූමිය තුළ නැවත වන වගා කිරීම සඳහා වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබූ ජාතික වැඩසටහන සඳහා දායකත්වය සපයමින් දින 45 ක් තුළ හෙක්ටයාර 600 ක භූමි ප්‍රමාණයක් තුළ පැළ 60,000 ක් පමණ රෝපණය කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ.

දෙසැම්බර් මස 13 දින ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යාල, වත්තේගම, කැබිලිත්ත සහ යාබද රක්‍ෂිත වනාන්තර ආවරණය කරමින් ජනවාරි මස අවසන් වන විට නිම කිරීමට නියමිතව ඇත. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක විසින් මෙම වටිනා ව්‍යාපෘතිය සඳහා භටපිරිස් යොමුකරනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

පැළ රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ දින 22 තුළ භටපිරිස් විසින් කුඹුක්, සියඹලා, මහෝගනී, බුරුම තේක්ක, තෙළඹු, කායන් සහ නා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ පැළ වර්ග රෝපණය කරනු ලැබූහ.

මොණරාගල ප්‍රාදේශීය අඩවි වන නිලධාරී ප්‍රභාත් බණ්ඩාර මහතා ප්‍රමුඛ එම කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශීය අඩවි වන නිලධාරී එල්. සමීර මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සහයෝගය මත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 18 වන ගැමුණු හේවා බලකායේ සාමාජිකයන් 82 දෙදෙනෙකු විසින් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන දින 22 ක් පුරාවට ක්‍රියාත්මක කරමින් ඉකුත් බදාදා (4) දින අවසන් කරන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට ගේ අධීක්‍ෂණය යටතේ එම බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරීන්ගේ සහයෝගය මත ක්‍රියාත්මක කෙරිණි.