Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2023 11:58:15 Hours

2023 වසරේ යුද්ධ හමුදා මූලස්ථානයේ පළමු විද්වත් සැසිය ලෙස ‘ඩයිනර්ස් ක්ලබ්’ (Diners Club) වැඩසටහන පැවැත්වේ

රටේ අනාගත ආර්ථිකමය ඉලක්ක කරා ළඟාවීම සඳහා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම, යහපත් ජීවන තත්ත්වයන් ලබාදීම සහ අභියෝග නිසි ලෙස හඳුනා ගැනීම සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමත්, ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ සොයාබැලීමත් අරමුණු කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ‘ඩයිනර්ස් ක්ලබ්’ (Diners Club) වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ආරාධිත කථිකාචාර්යවරයෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා සහභාගී විය. එහිදී, ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම: වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා සාකල්‍ය ප්‍රවේශයක්’ යන මාතෘකාව යටතේ යුද්ධ හමුදා නිලධාරීන් දැනුවත් කරනු ලැබීය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ අවධානයට ලක්ව ඇති මෙම කාලීන ගැටළුව පිළිබඳ දැනුවත් කිරීම සහ ඒවාට විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා “ආර්ථික ප්‍රවර්ධනය, යහපත් ජීවන තත්ත්වයන් ඇති කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීම, ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක වෙත ළඟාවීම සඳහා පවතින අභියෝග හඳුනාගැනීම සහ එම අභියෝගයන් ජයගැනීම සඳහා ප්‍රමුඛතාවය මත අවධානය යොමු කළයුතු බව” ප්‍රකාශ කරනු ලැබීය.

මෙහිදී, ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ද පැවති අතර එහිදී යුද්ධ හමුදා නිලධාරින්ට මතු වූ ගැටළු සාකච්ඡා කර නිරාකරණය කරගැනීමේ අවස්ථාව ද හිමිවිය.

සැසිවාරය සමාප්තියේ, යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ආරාධිත කථිකාචාර්ය මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් මෙම අවස්ථාවට සහභාගී වීම සබැඳිව සිය කෘතඥතාව පළකළේය.

මෙහිදී, පිළිගැනීමේ කතාව පැවැත්වූ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න විසින් මෙම අවස්ථාවට සපැමිණි ආරාධිත කථිකාචාර්ය මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එමෙන්ම, මෙම වැඩසටහන සඳහා තෝරාගත් මාතෘකාවේ වැදගත්කම පිළිබඳව ද ඔහු තවදුරටත් කරුණු අවධාරණය කළ අතර එහි විෂයය කරුණු හමුදා, සිවිල් සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වන ආකාරය පිළිබඳව ද පැහැදිලි කළේය. උත්සවය සමාප්තියේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පර්යේෂණ සංකල්ප හා මූලධර්ම ලුතිනන් කර්නල් ඩී.එල්.යූ ද තාබෲ විසින් ස්තූති කතාව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.