Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2023 20:13:53 Hours

අභිනවයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කනිෂ්ක හෙයියන්තුඩුව වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

පසුගිය දා උසස්වීම් ලැබූ ඉස්ලාමාබාද් හි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ ආරක්‍ෂක ඇමති උපදේශක යන ධූරයන් හෙබවූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කණිෂ්ක හෙයියන්තුඩුව වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 දෙසැම්බර් මස 30 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කණිෂ්ක හෙයියන්තුඩුව වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සහ පෙළ අණදෙන්නා විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එතුමන් වෙත ආරාධනා කරන ලදී.

මේජර් ජෙනරල් කණිෂ්ක හෙයියන්තුඩුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව නිලධාරි නිවස්නයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර එහිදී පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූවේය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් මේජර් ජෙනරල් කනිෂ්ක හෙයියන්තුඩුව ගේ නිල උසස්වීම ‍වෙනුවෙන් එතුමන් වෙත ඇගයීමේ සංකේතයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ඔවුන්ගේ භාර්යාවන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.