Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2023 09:51:32 Hours

රග්බි සහ පාපන්දු ක්‍රීඩාවට නව ජවයක් ලබාදෙමින් ඉදිකළ ක්‍රීඩාපිටිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත වෙයි

මෙරට රග්බි සහ පාපන්දු කණ්ඩායම් අතරින් කැපී පෙනෙන දක්‍ෂතා දක්වන යුද්ධ හමුදා රග්බි සහ පාපන්දු කණ්ඩායම් සඳහා නව ජවයක් ලබාදෙමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ඉදිකරනු ලැබූ නව රග්බි සහ පාපන්දු ක්‍රීඩාපිටිය බදාදා (04) දින විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ මෙම නව ක්‍රීඩාපිටිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව විවෘත කරනු ලැබීය.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ ක්‍රීඩාපිටියෙහි නිර්මාණය කර ඇති ඩිජිටල් ලකුණු පුවරුව විවෘත කීරීමද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී සිදුකරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක සහ යුද්ධ හමුදා රගර් කණ්ඩායමේ නායකයා එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින් හඳුන්වාදීමෙන් අනතුරුව සුහද රගර් තරඟයක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට සිහිවටනයන් එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රගර් පන්දුවේ සිය අත්සන තැබීමෙන් අනතුරුව අත්පොලසන් නාද මධ්‍යයේ සුහද රගර් තරඟය ආරම්භ විය.

සුහද රගර් තරඟය සමාප්තියේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ රගර් සහ පාපන්දු ක්‍රීඩාංගණය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.