Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2022 12:39:09 Hours

නව වසර උදාව වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් රුවන්වැලි සෑ පුදබිමේදී පුංණ්‍යෝත්සවයක්

2023 නව වසරේ උදාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් 2022 දෙසැම්බර් මස 31 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත කිරි ආහාර පූජා කිරීමේ පිංකමක් පවත්වන ලදී.

මෙම උතුම් පුංණ්‍යෝත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.

එහිදී, මහා සංඝරත්නය විසින් බෞද්ධ ආගමික වතාවත් සිදුකරන ලදී.

මෙම පුංණ්‍යෝත්සවයට සමගාමීව දෙසැම්බර් මස 28 දින රුවන්වැලි සෑ පුදබිම වෙත පැමිණෙන සිය ගණනක් බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් වර්ග අඩි 3000 ක පමණ විශාලත්වයකින් යුත් තාවකාලික කූඩාරම් ඉදිකරනු ලැබූ අතර, බැතිමතුන් වෙත ඔසු පැන් කෝප්ප 5000 ක්ද බෙදාදෙනු ලැබූහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ වෛද්‍ය ඉන්ද්‍රජිත් සෝමරත්න මහතාගේ උපදෙස් මත පිලියෙළ කරන ලද එම ඔසු පැන්, සිල් සමාදන් වූ සැදැහැවතුන් ඇතුළු පැමිණ සිටි පිරිස වෙත බෙදාදෙන ලදී.

මෙම දානමය පිංකම ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති - උතුරු මැද මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරන ලදී.