Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 07:40:16 Hours

4 වන ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගී වැඩසටහනක්

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කතෝලික ප්‍රජාව කෙරෙහි දක්වන සුහදත්වය පිළිඹිබු කරමින් මඩු ප්‍රදේශයේ පිහිටි පෙරියපානඩිවිරිච්චාන් රජයේ පාසල් පරිශ්‍රයේදී නත්තල් කැරොල් ගී වැඩසටහනක් පවත්වන ලදී.

සිවිල් ජනතාව හා හමුදා සාමාජිකයින් අතර සහජීවනය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ගේ මූලිකත්වයෙන් දමිළ, ඉංග්‍රීසි සහ සිංහල භාෂා ත්‍රිත්වයෙන් නත්තල් කැරොල් ගී වැඩසටහනක් පැවැත්වූ අතර, එහි සංවිධාන කටයුතු මරියකොත්ති දේවස්ථානයේ පූජකවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එහිදී සහභාගී වූ කුඩා ළමුන් සඳහා කෙටි ආහාර සහ ත්‍යාග පාර්සල් ද බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ, 4 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඩී.ඒ. උදයකුමාර, මඩු පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රාදේශීය ලේකම්, මඩු රෝහලේ වෛද්‍ය නිලධාරී, පෙරියපානඩිවිරිච්චාන් පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ද සහභාගී වූහ.