Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 07:40:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

දියතලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් බුද්ධික පෙරේරා පසුගිය දෙසැම්බර් මස 28 (බදාදා) දින බෞද්ධ ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

එම විද්‍යාපීඨ පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් බුද්ධික පෙරේරා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් සුමල් හේමරත්න විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එතුමන් විසින් එම විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, පුහුණු කණ්ඩායම් ප්‍රධානී - යුද්ධ හමුදා පුහුණු අංශයේ ලුතිනන් කර්නල් එල්.පී. අතුකෝරල ගේ අණදීමෙන් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිරිනමන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් බුද්ධික පෙරේරා සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායකතුමන් එම විද්‍යාපීඨයේ සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී කැඩෙට් නිලධාරින් සහ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ 54 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා පත්කෙරිණි.