Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:32:58 Hours

දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් නව වසරේ උදාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

2023 වර්ෂය උදාවීමත් සමඟින් දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සඳුදා (2) දින නව වසරේ පළමු වැඩකරන දිනය ලෙස හමුදා සම්ප්‍රදායානාකූලව රාජකාරි ආරම්භ කළ අතර එහිදී, රාජ්‍ය ප්‍රතිඥාව සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම මෙන්ම තවත් අංග කිහිපයක් සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබීය.

නව අවුරුදු උදාව වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගි විය. එහිදී, ජාතික කොඩිය සහ යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබීය.

එමෙන්ම, මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීම, රාජ්‍ය ප්‍රතිඥාව සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීමෙන් අනතුරුව මෙම උත්සවය නිමාවට පත් විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ට වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනට සමගාමිව සිවිල් සේවක මහත්ම මහත්මීන් 30 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීම ද මෙම වැඩසටහන අතරතුරදී සිදුකෙරිණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි වෙතින් ඉකුත් ඉරිදා (1) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී මහා සංඝරත්නය වෙත දානය පූජා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් 2023 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

මෙම බෞද්ධ ආගමික වැඩසටහන අතරතුර, කැබිතිගොල්ලෑව ගුණසිංහ ආරණ්‍ය සේනාසනයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් දිවංගත රණවිරුවන් වෙත පිං අනුමෝදන් කර යුද්ධ හමුදාවටත්, රටටත් ආශිර්වාද කරනු ලැබූහ.

මෙම බෞද්ධ ආගමික වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.

නව වසරට ආශිර්වාද එක්කරමින් 55 වන සේනාංකය සහ 553 වන බලසේනාව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහන වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරාණ නගර්කෝවිල්, හින්දු කෝවිල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම උත්සවය අතරතුර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් හා එක්සත් ජනපදයේ පදිංචි අනායා කොස්වත්ත මහත්මිය ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 553 වන බලසේනාවේ භටපිරිස් විසින් ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 30 ක් වෙත රුපියල් 10,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, 553 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක් ප්‍රේමතිලක, වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කුමාරස්වාමි ප්‍රභාකරන්මූර්ති මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ ගම්වාසීන් පිරිසක් ද සහභාගී වූහ.

එදිනම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 2023 නව වසරේ පළමු වැඩ කරන දිනය සනිටුහන් කරමින් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් ජාතික ධජය සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් අසේල අමරසේකර විසින් යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව භටපිරිස් විසින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබූහ.

අනතුරුව, දිවංගත විරෝදාර රණවිරුවන් අනුස්මරණය කර රාජ්‍ය ප්‍රතිඥාව කියවූ භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු පණිවිඩයට ද සවන් දුන්හ. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතන ලදී.

මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 39 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භටපිරිස් විසින් නව වසර වෙනුවෙන් අරසපුරකුලම් වැව් බැම්ම අවට රුක් රෝපණ ව්‍යාපෘතියක් පසුගිය ඉරිදා (1) දින ක්‍රියාත්මක කරනු ලැබු අතර, එහිදි ජල මුලාශ්‍ර සුරක්‍ෂිත කරගැනීම සඳහා ඉවහල්වන පැළ 100 ක් පමණ රෝපණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 66 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ භටපිරිස් එක්ව ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් මහෝගනී පැළ 50 ක් සහ කුඹුක් පැළ 50 ක් රෝපණය කරන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන ගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබු අතර, ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා 661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් සෙනෙවිරත්න, 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.ජී.ජේ.බී.පී. දෙමටගහවත්ත, අරසපුරකුලම් ගොවි සමිතියේ සභාපති කේ. ඩිලක්‍ෂාන් මහතා මෙන්ම යුද්ධ හමුදා නිලධාරීන් සහ භටපිරිස් පිරිසක් ද සහභාගී වූහ.

කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථානය විසින් යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ලබාදුන් උපදෙස් මත හමුදා සම්ප්‍රදායානුකූලව නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය. එහිදී, 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඇතුළු එම බලකායේ සාමාජිකයන් විසින් ප්‍රථම වැඩකරන දිනය වන ජනවාරි මස 2 දින ධජ එසවීම, ජාතික ගීතය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබීය.

1 වන බලකායේ බලකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිඥාව කියවිම, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු පණිවිඩයට සවන්දීම සහ 1 වන බලකායේ භටපිරිස් ඇමතීම ද සිදුකෙරිණි.

1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු යුද්ධ හමුදා ඒකකයන්හී සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ද බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් සුදත් කිතුල්ගොඩ ගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් අනුව 2023 නව වසර උදාව සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව පැවති මෙම උත්සවයේදී ධජ එසවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, දිවංගත රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් භටපිරිස් අමතන ලදී. පසුව, එම පරිශ්‍රයේදී සියලුනිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් උදය හේරත් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (2) දින එම සේනාංක මූලස්ථානයේදී නව වසරේ ප්‍රථම වැඩකරන දිනය ආරම්භය සනිටුහන් කරනු ලැබීය. එහි ආරම්භය සනිටුහන් කරමින් ජාතික කොඩිය හා යුද්ධ හමුදා ධජය එසවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති, නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත රුපියල් පන්දහසක (5000.00) ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 20 ක් බෙදාදෙනු ලැබීය.