Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 07:41:31 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් නවීන තාක්‍ෂණික උපකරණ වලින් සමන්විත පන්ති කාමර (Smart Classrooms)දෙකක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ 622 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් දෙරණ රූපවාහිනී මාධ්‍ය ජාලය මගින් ක්‍රියාක්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක ව්‍යපෘතීයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ඉදිකරන ලද නවීන තාක්‍ෂණික උපකරණ වලින් සමන්විත පන්ති කාමර (Smart Classrooms) දෙකක් වැලිඔය ප්‍රදේශයේ කිරිඉබ්බන්වැව මහා විද්‍යාලයේ සහ ඇතාවැටුණුවැව මහා විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා 2022 දෙසැම්බර් 28 (බදාදා) දින සිසු අයිතියට පත් කරන ලදී.

දෙරණ රූපවාහිනි මාධ්‍ය ජාලය විසින් යුද්ධ හමුදාව වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් මෙම නවීන තාක්‍ෂණික උපකරණ වලින් සමන්විත කාමර ඉදිකිරීමේ ව්‍යපෘතිය සඳහා දායකත්වය දක්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් නවීන තාක්‍ෂණික උපකරණ වලින් සමන්විත පංති කාමර සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපකරණ සවිකර එම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලදි. මෙමගින් එම පාසල් වල සිසුසිසුවියන්ට තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය ලබාගැනීමට මනා පිටුවහලක් ලැබේ.

එම නවීන තාක්‍ෂණික උපකරණ වලින් සමන්විත පන්ති කාමර සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවන් 2022 දෙසැම්බර් මස 28 (බදාදා) දින පැවති අතර, ඒ සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, ‘මනුසත් දෙරණ’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම, 621 සහ 622 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, පාසල්හි විදුහල්පතිවරුන්, 62 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.