Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2022 19:30:26 Hours

553 වන බලසේනාවේ මූලිකත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනාවේ මූලිකත්වයෙන් සිවිල් වැසියන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පවතින සුහදත්වය සහ අවබෝධය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් නොවැම්බර් මස 15 දින සිට 22 දින දක්වා කාලය තුළ යාපනය ප්‍රදේශයේ සිවිල් ක්‍රීඩා සමාජ 8 ක සහභාගීත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.

තරඟාවලියේ අවසන් මහා තරගය තාලෙයඩි මහජන ක්‍රීඩාංගණයේදී ඉකුත් ඉරිදා (27) දින පැවති අතර එහිදී, භාරතී ක්‍රීඩා සමාජය සහ ශ්‍රී මුරුගන් ක්‍රීඩා සමාජය තරගවැදිණි. තියුණු තරඟයකින් අනතුරුව ශ්‍රී මුරුගන් ක්‍රීඩා සමාජය තරඟාවලියේ ශූරතාව හිමිකරගනු ලැබීය.

යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ නර්තන කණ්ඩායම් ඉදිරිපත් කරන ලද නර්තන අංගයන්ගෙන් සහ මියුරු සංගීතය මඟින් එම අවස්ථාවට සපැමිණි සැවොම ප්‍රබෝධයට පත්විය. තරඟාවලිය අවසානයේ පැවති සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.

තරඟාවලිය සියැසින් දැකබලාගැනීම සඳහා කඩ්ඩෙයිකාඩු දේවස්ථානයේ ගරු අමල් රාජ් පියතුමන්, මරතන්කේනි ප්‍රාදේශීය ලේකම් පී. මූර්ති මහතා, එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්, 552 වන බලසේනාවේ බලසේනාධිපති, 55 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, 10 වන සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසී ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරඟාවලියේ අවසන් පූර්ව තරඟ නොවැම්බර් මස 15 දින සිට 22 දින දක්වා කාලය තුළ පවත්වන ලද අතර එහි අවසන් මහා තරඟය 2022 නොවැම්බර් මස 27 දින උත්කර්ශවයෙන් පැවැත්විණි.