Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2022 21:50:12 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් දෙහිප්පාව පුබුදු පෙරපාසලට නව බුද්ධ මන්ධීරයක්

දෙහිප්පාව පුබුදු පෙරපාසලේ පාලිකාවගේ ඉල්ලීමකට අනුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම පෙරපාසල් පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව බුද්ධ මැදුර ඉකුත් සෙනසුරාදා (26) දින මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ මඟපෙන්වීම හා විදේශගතව සිටින දානපතියෙකුගේ පවුලේ සාමාජිකයන් විසින් ලබාදෙනු ලබන මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය යොදාගනිමින් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම නව බුද්ධ මැදුර විවෘත කිරිම බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානුකූලව සිදුකෙරුණු අතර එම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඉන්දික පුංචිහේවා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම ළමුන් ඇතුළු ආරාධිත අයවළුන් වෙනුවෙන් කෙටි ආහාරපාන ලබාදීම ද භටපිරිස් විසින් සිදුකරන ලදී.