Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2022 21:34:05 Hours

622 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා සහන සැලසීමට සහ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, වන්නි ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 100 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ එම පවුල් වල අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (25) දින ඇහැටුගස්වැව මහා විද්‍යාලයේදී පැවැත්විණි. යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රජාමූලික වැඩසටහන් අගය කරමින් ධානපතීන් පිරිසකගේ මූල්‍යමය දායකත්වය මත එම වැඩසටහන වඩාත් සාර්ථක අයුරින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනේදී රුපියල් ලක්‍ෂ හතරක (400,000.00) පමණ වටිනාකමකින් යුත් පාසල් උපකරණ ඇසුරුම් පාර්සල් 50 ක් සහ රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ පන්දහසක (1,75,000.00) වටිනාකමින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 50 ක් ප්‍රතිලාභින් වෙත බෙදා දෙන ලදී.

නදුන් සමරක්කොඩි මහතාගේ මූලිකත්වයෙන් ‘NS Performances’ පුද්ගලික සමාගම, ‘Kitchen House’ පුද්ගලික සමාගම සහ වර්ණ ඖෂධාගාරය එක්ව මෙම ප්‍රජාමූලික වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වනු ලැබීය. යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත මෙම සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් ප්‍රතිලාභින් තෝරාගැනීමේ කටයුතු සිදුකෙරුණු අතර, ඔවුන්ට ප්‍රවාහන පහසුකම්ද ලබාදීමද සිදුකරනු ලැබීය.

ඇහැටුගස්වැව මහා විද්‍යාලයේ පැවති මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත එම ඒකකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූහ. එම අවස්ථාව සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ, 622 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉනෝජ් හේරත් ඇතුළු පිරිසක් සහභාගී වූහ.