Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2022 18:30:05 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 71 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

1951 වර්ෂයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අභිමානවත් 71 වන සංවත්සර දිනය වර්ෂ 2022 නොවැම්බර් මස 09 දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මානුෂීය මෙහෙයුමෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ වැඩසටහනක් ඇතුළු තවත් වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.

මෙම සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගි වූ අතර, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ. අනතුරුව මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් භටපිරිස් ඇමතීමෙන් පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වූ අතර, ආගමික වතාවත් පවත්වා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව එම උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම විසින් මෙම උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් අනිල් උදය කුමාර, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.