Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2022 19:00:05 Hours

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් ගර්භනී කාන්තාවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රහකත්වය මත අරලගංවිල මහවැලි මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ගර්භනී කාන්තාවන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (09) දින පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ‘මාස්ටර් චෙෆ්ස්’ (Master Chefs) ආයතනයේ අධිපතිනි තිළිණි විතානගේ මහත්මිය සහ එතුමියගේ මිතුරන් කීපදෙනෙකු සමඟින් එක්ව මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වා තිබුණි. අරලගංවිල සහ දිඹුලාගල ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි කාන්තාවන් වෙනුවෙන් ධාන්‍ය වර්ග, කිරිපිටි, සහල්, පරිප්පු ආදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් මෙම සමාජ සත්කාරක වැඩ සටහන යටතේ බෙදා දෙන ලදී.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගි වූ අතර, පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින්, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග, 232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත මලවරගේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජිව් ප්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක්ද සහභාගි වූහ.