Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2022 18:48:46 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් නවගමුව ප්‍රදේශයේ කැලණි ගඟේ ඇති වූ ජල අවහිරතා ඉවත් කරයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් එම ජලය මාපිටිගම, නවගමුව ප්‍රදේශයේ ‘පොඩි පාලම’ හරහා ගලායාමේදී ඊට බාධාවන අයුරින් ඉදිරී ගිය උණ ගස් කිහිපයක් ඉවත් කිරීමට පසුගිය සෙනසුරාදා (12) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වූහ. කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ලබාදුන් උපදෙස් මත භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරය සඳහා දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් ලබාදුන් උපදෙස් හා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් ජයමාන්න සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේද සහාය ඇතිව පැය කිහිපයක් ඇතුළත එම උණගස් ඉවත්කර ජලමාර්ගයේ අවහිරතා ඉවත් කරන ලදී.