Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2022 18:50:50 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 1980 වර්ෂයේ දමිළ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ විදෙස්ගතව සහ මෙරට වෙසෙන ආදි ශිෂ්‍ය සාමාජිකයින් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත නිවසක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන කාන්තාවක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ප්‍රමුඛ දමිළ ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් එම කාන්තාවගේ ජීවන තත්ත්වය පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් පරිත්‍යාගශීලී රත්නම් පත්මරාජිනී මහත්මිය සහ ඇයගේ දියණිය වෙත දැනුම් දීමෙන් පසුව නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස්හී ශ්‍රම දායකත්වයෙන් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සෙනරත් බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් අනුග්‍රාහක භවතුන්ගෙන් ලද අනුග්‍රාහකත්වය මත කෙටි කාලයක් ඇතුළත නව නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික), පරිත්‍යාගශීලීන්ගේ නියෝජිත පිරිසක් සමඟින් එක්ව හින්දු ආගමික වතාවත් සහ සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ පසුගිය බදාදා (9) දින නව නිවස ප්‍රතිලාභී කාන්තාව වෙත පවරාදෙනු ලැබීය.