Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2022 18:53:56 Hours

යුධ බිමේදී දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ ‘පොපි දින’ සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් ලෝක යුද සංග්‍රාමය ඇතුළු යුදබීමේදී මෙතෙක් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ දිනය හෙවත් ‘පොපි දින’ සැමරුම් උත්සවය නොවැම්බර් මස 11 දිනට යෙදෙන අතර, ඒ වෙනුවෙන් අද (13) දින උදෑසන කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අති උත්කර්ෂවත් අන්දමින් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහභාගී විය. එමෙන්ම, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිතුමන් මෙන්ම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සැමරුම් උත්සව අවස්ථාව එක්වූහ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපතිතුමන් ප්‍රමුඛ නිලධාරින් විසින් මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකරමින් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට උපහාර දැක්වීමට එතුමන් වෙත ආරාධනා කරන ලදී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් විසින් දේශය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී එකී රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළහ. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.

දේශය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට උපහාර පුදකරමින් හමුදා උත්තමාචාර පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.

‘පොපි දිනය’ යනු පළමු ලෝක සංග්‍රාමය සමාප්තියෙන් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල රාජකාරියේ නියුතුව සිටියදී මියගිය සන්නද්ධ හමුදා සාමාජිකයින්ට ගෞරවාචාර පුදකිරීමේ අනුස්මරණ දිනයකි. වර්ෂ 1919 දී පස්වන ජෝර්ජ් රජු විසින් ආරම්භ කරන ලද සම්ප්‍රදායක් අනුගමනය කරමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය නොවන බොහෝ රටවල් මෙම දිනය යුද සිහිකිරීම් සඳහා නම් කර ඇත.