Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2022 22:24:27 Hours

යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ කඨින චීවර පූජාව 51 වන සේනාංකයේ භටපිරිස්වල සහයෝගීතාවයෙන්

යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නාහිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ගේ මාර්ගෝපදේශයන්ට අනුව නොවැම්බර් මස 5 සහ 6 යන දෙදින තුළ පැවති මෙම පුණ්‍යෝත්සවය සඳහා භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම කඨින චීවර පූජෝත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුම මූල්‍යමය දායකත්වය දක්වන ලදී.

512 වන බලසේනා මූලස්ථානයෙන් මහා සංඝරත්නය වෙත පූජා කරන ලද ‘කඨින චීවර පූජාව’ සමගාමීව ධර්ම දේශනා සහ ආගමික කටයුතු සිදු කෙරිණි. අනතුරුව භික්ෂූන් වහන්සේලා උදෙසා උදෑසන සහ දහවල් දානය මෙන්ම ‘අටපිරිකර’ පූජා කරන ලදී. මෙම පුණ්‍ය කටයුත්ත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත පැවැත්විණි.

මෙම කඨින පුණ්‍ය කටයුත්ත සඳහා ආගමික පූජකයින්, ආදීනම්, විකාර් ජනරාල් යාපනය සහ අසීස් මවුලවි, ඉන්දීය කොන්සල් ජනරාල්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් - යාපනය, උතුරු පළාත් අධ්‍යක්‍ෂ - සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, 51, 52 සහ 55 පාබල සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර), 512, 513 සහ 515 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු ද සහභාගි වූහ.