Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2022 16:16:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවති ‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදන’ වැඩමුළුව සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවති ‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදන’ පිළිබඳ වැඩමුළුවේ 2 වන අදියර සඳහා සහභාගී වූ සෙසු නිලයින් 31 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා (25) දින සහතිකපත් ප්‍රදානය කරන ලදී.

ඉදිරි වසර සඳහා සැලසුම් කර ඇති ආයතනික අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සෙනරත් යාපා ගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම පාඨමාලාව සැප්තැම්බර් මස 20 දින ආරම්භ කරන ලදි. ප්‍රතිචක්‍රීකරණ කටයුතු සහ කුසලතා සංවර්ධනය තුලින් නවෝත්පාදනයන් දියුණු කිරීම පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව ප්‍රායෝගික සැසිවාරයන්, කණ්ඩායම් ක්‍රියාකාරකම්, අපද්‍රව්‍ය කළමනාකරණය, අධ්‍යාත්මික භාවනා, පෑස්සුම්, පින්තාරු කිරීම සහ වඩු කාර්මික ශිල්පය වැනි නවෝත්පාදන ක්‍රියාකාරකම් ආදී ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි දින 21 ක් පුරාවට මෙම වැඩමුළුව පැවැත්විණි.

මෙම සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකගේ සුරතින් වැඩමුළුව සාර්ථකව අවසන් කල යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. තවද, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන්ද සහභාගී විය.

ඉන් අනතුරුව, වැඩමුළුව සඳහා සහභාගී වූවන් විසින් නවෝත්පාදන වැඩමුළුව පැවති කාලය තුලදී ලබාගත් දැනුමින් නිර්මාණය කරන ලද ලෝහ ඇඳන්, දේශන ස්ථම්භ, වීල්බැරෝ, ලොහයෙන් නිමකල රූපවාහිනී රැඳවුම්, වායු සම්පීඩන යන්ත්‍ර, කණ්නාඩි මේස, ලාම්පු, කසල බඳුන් සහ ලී පුටු ආදී නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරනු ලැබීය.

මෙම සහතික ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, පුහුණු පරීක්‍ෂක, බ්‍රිගේඩියර් පරිපාලන, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් පුහුණු, කර්නල් ඉංජිනේරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.