Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2022 20:30:50 Hours

යුද්ධ හමුදාවේ සහයෝගය මත තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලේ ආරම්භකරන ලද ‘හරිත උද්‍යානයෙහි’ පළමු අස්වැන්න නෙළාගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ 543 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි සහයෝගයෙන් සහ සම්බන්ධීකරණයෙන් තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සනෝජ් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් මීට මාස කිහිපයකට පෙර එම රෝහල් පරිශ්‍රයේ කාබනික පොහොර යොදා ආරම්භ කරන ලද ‘හරිත උද්‍යානයෙහි’ වගාවන්ගේ පළමු සරුසාර අස්වැන්න නෙළාගැනීමට පසුගිය අඟහරුවාදා (18) දින එම රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයට හැකි වූහ.

ප්‍රදේශයේ සිවිල් ජනතාව හරිත කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්‍ෂිතතාවය කෙරෙහි දක්වන දායකත්වය වැඩි කිරීම සඳහා සේනාංකාධිපතිතුමාගේ අදහසක් අනුව මෙම ව්‍යපෘතිය ආරම්භ කරන ලද අතර, ඒ අනුව තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමන්ගේ ඉල්ලීම මත 543 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර හරස්ගම ගේ උපදෙස් මත රෝහල් පරිශ්‍රය තුල මෙම ව්‍යාපෘතිය සඳහා බිම් සැකසීමට සහ පැල සිටුවීම ආදි කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස් දායක වූහ.

රෝහල් පරිශ්‍රය තුළ වගා කර තිබූ බෝංචි වර්ග, රටකජු, බටු, බණ්ඩක්කා, ලීක්ස්, මඤ්ඤොක්කා ආදියෙහි සරුසාර අස්වැන්න මෙලෙස නෙළාගනු ලැබූ අතර, අනතුරුව එම අස්වැන්න රෝහලේ ප්‍රථිකාර ලබන රෝගීන්ගේ පරිභෝජනය සඳහා රෝහලේ නිලධාරීන් වෙත භාර දෙන ලදී. මෙම අස්වනු නෙලීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් තුෂාර හරස්ගමද සහභාගි විය.

මෙම අස්වනු නෙලීමේ අවස්ථාව සඳහා 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.ජී.ටී.යූ.යූ.බී ජයරත්න, මන්නාරම සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ වෛද්‍ය විනෝදන් ධර්මරාජන්‍ මහතා, මන්නාරම සෞඛ්‍ය සේවා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය නිශාන්ති මෙනවිය, මන්නාරම ප්‍රාදේශීය දන්ත වෛද්‍ය නිලධාරීනි ශ්‍රීදේවි වේතවනම් මහත්මිය, මන්නාරම වෛද්‍ය නිලධාරී සැලසුම් අංශයේ වෛද්‍ය ටෙනී මහතා, වෛද්‍ය සනෝජ් ප්‍රනාන්දු මහතා සහ යුද්ධ හමුදා භටපිරිස් සහභාගී විය.