Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2022 20:27:47 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී 1 වන බලකායේ සංචාරයක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චියේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේ පසුගිය සිකුරාදා (14) දින නිල සංචාරයක නිරත වූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

1 වන බලකා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව 3 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-pass) පුදකරන ලදී.

ඉන් අනතුරුව, 1 වන බලකාය යටතේ ස්ථාපිත සේනාංකයන්හි සියලුම සේනාංකාධිපතිවරුන්, එම බලකායේ මාණ්ඩලික නිලධාරීන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සමූහ ඡායාරූපයකටද පෙනීසිටි අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැලයක්ද රෝපණය කරන ලදී.

අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් කිලිනොච්චිය ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී 1 වන බලකායේ භටපිරිස් අමතා ‘COVID 19’ කොරොනා වසංගත පාලනය කිරීමට සහය ලබාදුන් සියලුම යුද්ධ හමුදා භටපිරිස් වෙත සිය කෘතඥතාව පළ කල අතර, පසුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. කඳවුරු පරිශ්‍රයෙන් පිටව යාමට පෙර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත්, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ, 1 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.