Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2022 21:07:00 Hours

නාවට්කුලි සම්මිධි සුමන විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම සඳහා යුද්ධ හමුදා භටපිරිස්හී සහයෝගය

යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි නාවට්කුලි සම්මිධි සුමන විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ඇතුළු එම සේනාංකයේ සියලුම භටපිරිස් සිය පුණ්‍යමය දායකත්වය ලබාදුන්හ.

නාවට්කුලි සම්මිධි සුමන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හංවැල්ලේ රත්නසිරි හිමිපාණන්ගේ අනුශාසනා මධ්‍යයේ මෙම කඨින චීවර පූජා පිංකම 15 සහ 16 දෙදින තුල පැවැත්විණි.

52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව පිරිත් සජ්ඣායනය සහ කඨින චීවර පූජා පිංකම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගී විය.

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවට සහ පසුදින කඨින චීවර පූජා පිංකම සඳහා භික්‍ෂුන් වහන්සේලා 22 නමක් වැඩම කළහ.

මෙම පිංකම් මාලාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති, 521 සහ 522 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ 52 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන් ද එක්වූහ.