Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2022 21:14:14 Hours

සිවිල් වැසියන්ගේ ආරක්‍ෂණ පාඨමාලාව - 2022 සාර්ථකව අවසන්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලබාදෙන කුකුළේගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2022 ඔක්තෝබර් මස 10 දින සිට 14 දින දක්වා සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීම සම්බන්ධ පාඨමාලාව - 2022 පැවැත්විණි.

එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙතින් ලබාදුන් උපදෙස් හා නිර්නායකයන්ට අනුව ගෝලීය සාමසාධක මෙහෙයුම් සංවිධානයේ ද මඟපෙන්වීම මත පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 31 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 2 දෙනෙක් සහ නේපාලයේ හමුදා නිලධාරියෙක් සහභාගී වූහ.

පාඨමාලාවේ දේශන මණ්ඩලයට උරුගුවේ ගෝලීය සාමසාධක මෙහෙයුම් සංවිධානයේ කර්නල් ගොන්සාලෝ මිලා (විශ්‍රාමික) (Colonel Gonzalo Mila (Rtd)), ඩෙන්මාර්කයේ ජෙන්ස් ඇන්ඩර්සන් මහතා (Mr Jens Anderson) මෙන්ම කර්නල් බී.ඩී.ටී.ඩී. ජයරත්න, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලුතිනන් කර්නල් එම්.එල්.එන්.යූ. ලියනගේ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලුතිනන් කර්නල් එම්.එස්.ආර්. මොහොමඩ්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් කේ.එච්.ඩී. මෙන්ඩිස් යන නිලධාරින් ද ඇතුලත් විය.

ගෝලීය සාමසාධක මෙහෙයුම් සංවිධානය මිත්‍රශීලී විදෙස් ජාතිකයන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ ප්‍රවීණතාවය සහ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ තිරසාරව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගීතාවය සපයනු ලබයි. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කලාපීය සාමසාධක මෙහෙයුම් ඵලදායී ලෙස පැවැත්වීම සඳහා ජාත්‍යන්තර භටපිරිස් ප්‍රමාණය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජනපද රජය විසින් මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සහයෝගීතාවය සපයනු ලබයි.

මෙම පුහුණු වැඩසටහනේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල සහ අනෙකුත් විදේශ රටවල නිලධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්, එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂකයින් වශයෙන් බඳවාගැනීමට පෙර ඔවුන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පවත්වනු ලැබීය. තවද, එහිදී එක්සත් ජාතීන්ගේ සාමසාධක සාමාජිකයින් ලෙස සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්‍ෂ විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය පවත්වන ලදී.