Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2022 10:56:10 Hours

දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකක යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබූ යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමාගාමීව දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකකයන්හිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය කියවීමට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව විවිධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මූලස්ථානය වෙතින් පසුගිය සඳුදා (10) දින කෝපායි ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් 75 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු එම සේනාංකයේ භටපිරිස් සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදසේ මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති ප්‍රමුඛ භටපිරිස් විසින් එම සේනාංක බලප්‍රදේශයේ වෙසෙන දමිළ වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සුහදතාවය වැඩදියුණු කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

52 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුර ජ/ කරඹකුරිච්චි ප්‍රාථමික විද්‍යාලයේ සහ වරණි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් විසින් සංස්කෘතික නර්තන අංගයන් ඉදිරිපත් කරමින් ප්‍රතිලාභීන් විනෝදාස්වාදයට පත්කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු විසින් එකක් රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් ප්‍රතිලාභීන් වෙත බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ/කරඹකුරිච්චි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කන්නදාසන් මහතා, එලුදුමඩ්ඩුවාල් ග්‍රාම නිලධාරී රාජ් සුදාකර් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මේ අතර, කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ භටපිරිස් 73 වන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කරමින් පසුගිය සඳුදා (10) දින යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය කියවීම සහ එම සේනාංක මූලස්ථානයේ පිහිටි ඔසු උයනේ ශ්‍රමදානයක් පැවත්වීමෙන් අනතුරුව සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මීට අමතරව, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එස්. කල්ප සංජීව ගේ සුරතින් යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ නවීකරණය කරන ලද දේශන ශාලාව විවෘත කරන ලදී.

එමෙන්ම, 73 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ගේ මූලිකත්වයෙන් පසුගිය සඳුදා (10) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී සැමරුම් වැඩසටහන් පවත්වනු ලැබීය.

එහිදී, යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය කියවීම, පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීම වැනි අංගයන් සිදුකෙරිණි.

මේ අතර, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන යුද්ධ හමුදා සංවත්සර දිනයට සුවිශේෂීත්වයක් එක් කරමින් තවත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

එම මූලස්ථානයේ පැවති සැමරුම් උත්සවයේදී යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය කියවීමෙන් අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මීට අමතරව, දියතලාව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරියකුගේ සහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් කඳවුරු පරිශ්‍රය තුළ කොස්, කුඹුක්, මී ඇතුළු විවිධ වර්ගයේ පැළ රෝපණය කරන ලදී. එමෙන්ම, තවත් සංවත්සර සැමරුම් අංගයක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් කහගොල්ල ශ්‍රී ඥානාරාම අසපුව පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මේ අතර, කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදි 73 වන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයක් සංවිධානය කරමින් යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සහ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය කියවීමෙන් අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව, යුද්ධ හමුදා දින සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිල උසස්වීම් ලබාදුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරීන් 93 දෙනෙක් සහ සෙසුනිලයන් 2769 දෙනෙකු වෙත යුද්ධ හමුදා දිනයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් සුබපැතුම් පිරිනැමීය. එමෙන්ම, මේජර් නිලයට සහ කපිතන් නිලයට උසස්වීම් ලද සියලු නිලධාරීන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කර එම සියලු නිලධාරින් වෙත නව නිලයේ උසස්වීම් පරිනමා සුභාශිංසන පිරිනමන ලදී.

මෙම සැමරුම් උත්සවයේ පළමු කොටස සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා සමඟින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරින් සහභාගි වූහ. ඉන් අනතුරුව, පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහභාගී විය.

මේ අතර, වවුනියාව, පෙරියවලයන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 73 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව විශේෂ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනක් දියත් කරමින් අක්කර 3 ක පමණ කුඹුරු බිමක වී අස්වැද්දූ අතර, එම කඳවුරු පරිශ්‍රය තුළ පොල් පැළ 200 ක් රෝපණය කරන ලදි. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.ජේ.බී. රාජපක්‍ෂ සහභාගී විය.

එමෙන්ම, මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පිහිටි 543 වන බලසේනා මූලස්ථානය වෙතින් 73 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව මන්නාරම ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් 100 ක් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය. මෙම වැඩසටහන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සහ 543 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර හරස්ගම ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ‘Shanthi Community Animation’ සහ ‘Cool Man Ice Factory’ සමාගමේ සහකාර අධ්‍යක්‍ෂ සුජීව රත්නායක මහතා, 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සාමූහිකව එක්ව මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.

මේ අතර, යුද්ධ හමුදවේ 73 වන සංවත්සරයට සමාගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අම්පාර, අන්නමලේ ප්‍රදේශයේ පිහිටි ‘මරනාතා’ සහ ‘බල්දුවර්’ පෙරපාසල්හී ඉගෙනුම ලබන ළමුන් 100 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ තවත් විනෝදාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් විසින් සිදුකළේය.