Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2022 20:19:35 Hours

55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ තරුණයින් සඳහා සුහද පාපන්දු තරඟයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විවිධ ක්‍රීඩා තරඟ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කරමින් සහ ඔවුන් දිරිගන්වමින් ජාතික මට්ටමේ සුදුසුකම් ලත් තරඟ සඳහා යොමු කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කරනු ලැබූ තවත් එක් වැඩසටහනක් යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (10) දින යාපනය ප්‍රදේශයේ කඩ්ඩෙයිකාඩු පාපන්දු පිටියේදී ‘යාපනය යෞවන සමාජ පාපන්දු කණ්ඩායම’ සහ ‘කඩ්ඩෙයිකාඩු යෞවන සමාජ පාපන්දු කණ්ඩායම’ අතර සුහද පාපන්දු තරඟයක් පවත්වන ලදී.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් ක්‍රීඩා සමාජ අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සුහද පාපන්දු තරඟය සංවිධානය කර තිබූ අතර, එමගින් යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩාශීලිත්වය, සංහිඳියාව, එකමුතුකම සහ සහජ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීම මූලික අරමුණ විය.

මෙම තරඟයේ සමාරම්භක අවස්ථාවට 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගී විය.

මෙම සුහද පාපන්දු තරඟයේදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ගේ උපදෙස් මත යාපනය යෞවන සමාජ පාපන්දු කණ්ඩායම සඳහා 51 වන සේනාංකය සහ කඩ්ඩෙයිකාඩු යෞවන සමාජ පාපන්දු කණ්ඩායම සඳහා 55 වන සේනාංකය අනුග්‍රහකත්වය දක්වනු ලැබූහ. ඉතා උණුසුම් තරඟයකින් අනතුරුව ගෝල 6 – 0 ක් වශයෙන් තරඟය ජයගැනීමට කඩ්ඩෙයිකාඩු යෞවන සමාජ පාපන්දු කණ්ඩායම සමත් වූ අතර, තරඟය නැරඹිම සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් රැස්ව සිටිහය.

තරඟය අතරතුර දෙපිලම උද්යෝගිමත් ලෙස තම දක්‍ෂතා ප්‍රදර්ශනය කළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් මෙම සුහද පාපන්දු තරඟයේදී ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙම තරඟය නැරඹීම සඳහා 51 සහ 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 552 සහ 553 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඉතා උද්යෝගයෙන් එක්ව සිටියහ.