Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2022 19:46:34 Hours

පුහුණුව හැදෑරූ යුද්ධ හමුදා කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගෙන් සමන්විත බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රථම කණ්ඩායම ක්‍රියාන්විත සඳහා සූදානම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයන් සඳහා නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලැබූ ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ උසස් ප්‍රමිතීන්ගෙන් සමන්විත පාඨමාලාව හැදෑරූ කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් 54 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කණ්ඩායම වෙත අද (08) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් ප්‍රවීණතා සහතික පත්‍ර පිරිනමනු ලැබීය. මෙම පාඨමාලාව හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල රාජකාරි සඳහා යෙදවීමට ද අපේක්‍ෂා කෙරේ.

මෙම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දේශනයක් සිදුකරමින් මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරූ කාන්තා නිලධාරිනියන් 03 දෙනා සහ කාන්තා සෙබලියන් 51 දෙනා වෙත සිය ප්‍රශංසාවන් එක්කළ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ සුවිශේෂී කුසලතාවයන් මුළු ලෝකයටම ප්‍රයෝජනවත් වන බව ද ප්‍රකාශ කර සිටියේය. ඉන් අනතුරුව, එම කාන්තා නිලධාරින් සහ කාන්තා සෙබලියන් වෙත සුබපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලය වෙතින් සකස් කරනු ලැබූ කාලරාමුව තුළ මෙම මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව නිමකිරීම සඳහා ඔවුන් සතුව පැවති තිරසාර ධෛර්යයට ප්‍රශංසාවන් එක් කළේය.

මෙම පාඨමාලාවේ පළමු අදියර 2021 දෙසැම්බර් මස 30 දින ආරම්භ වූ අතර එම පාඨමාලාව බූ ඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී මාස හයක් පුරාවට පැවැත්වීය. එමෙන්ම, ක්ෂේත්‍ර ක්‍රියාන්විතයන්ගෙන් සමන්විත මෙම පාඨමාලාවේ දෙවන අදියර 2022 ජුනි මස 6 දින ආරම්භ වූ අතර එම පාඨමාලාව යාපනය, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම පාඨමාලාවන් යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය මත පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී. විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයේ වත්මන් ප්‍රගතිය සහ මේ වනවිට ක්‍රියාත්මක වන මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති ආදිය පිළිබඳ දැක්වෙන කෙටි වීඩියෝ පටයක් ඉදිරිපත් කරනු ලැබීය.

කණ්ඩායම් දෙකකින් සමන්විත මෙම බිම්බෝම්බ ඉවත් කරන්නන්ගෙන් පළමු කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරින් සඳහා අනුයුක්ත කිරීමට අපේක්‍ෂා කෙරේ. එම අත්දැකීම් තුලින්, එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලය යටතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විත සඳහා ඔවුන් යෙදවීමේ හැකියාව ලැබේ.

මෙම උත්සවයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රථමයෙන් බිම්බෝම්බ ඉවත් කරන්නන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කළේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී. විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පිළිවෙලින් සහතිකපත් ප්‍රදානය කළහ. උත්සවය සමාප්තියේ බිම්බෝම්බ ඉවත්කිරීමේ පාඨමාලාව හැදෑරූ සාමාජිකාවක් විසින් ස්තූති කතාව පැවැත්වීය.