Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2022 14:15:32 Hours

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දිනය පසුගිය ඉරිදා (4) දිනට යෙදී තිබූ අතර එම සැමරුම් උත්සවය අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්භාව්‍ය ආරාධිත අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් පිළිගැනීමේ කථාව පවත්වනු ලැබීය. ඒ සමගම, සංක්‍ෂිප්ත ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය විසින් සිදුකරනු ලැබූ ව්‍යාපෘති සහ සුබසාධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරනු ලැබිණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් කිහිපිදෙනෙකු වෙත ගෞරවාන්විත සේවා පදක්කම ප්‍රදානය කිරීම මෙම උත්සව අවස්ථාව සඳහා සුවිශේෂීත්වයක් එක්කරන ලදී. එමෙන්ම, තවත් විශ්‍රාමික සාමාජිකයින් කිහිපදෙනෙකු වෙත යාවජීව සාමාජිකත්වය ද මෙම අවස්ථාවේදී ප්‍රදානය කරනු ලැබිණි.

මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දේශනයක් සිදුකරමින්, රාජ්‍ය භාණ්ඩාගාරය තුලින් කිසිදු පිරිවැයක් සිදු නොකරමින් ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රය තුළ ස්ථීර කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, දිවංගත සියලුම රණවිරුවන් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම වෙනුවෙන් උපහාර පුදකළ එතුමන් මව්බිමේ ආරක්‍ෂාව සහ සාමය වෙනුවෙන් ඔවුන් සියලුදෙනා සිදුකළ අනුපමේය මෙහෙවර පිළිබඳව ද සිහිපත් කළේය. ඉන් අනතුරුව, ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), එතුමන් විසින් රචිත ග්‍රන්ථයන්හී පිටපත් කිහිපයක් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය වෙත ප්‍රදානය කරනු ලැබිණි.

පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් ස්තූති කථාව සිදුකරනු ලැබීය. මෙම සංවත්සර සැමරුම් උත්සවයට හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

වර්ෂ 1944 දී ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය මේ වනවිට දීප ව්‍යාප්ත සන්නද්ධ හමුදා සංගම් 48 ක් ඒකාබද්ධව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 45,000 කින් පමණ සමන්විත වේ.