Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2022 18:52:15 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයෙහි පසුගිය සිකුරාදා (26) දින නිල සංචාරයක නිරත විය. යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම මූලස්ථානයේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාව විසින් යාපනය අර්ධද්වීපයේ ආරම්භ කරන ලද ප්‍රජා මූලික ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සංචාරය කරන ලදී.

පලාලි ගුවන් තොටුපළ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණි අතර, එහිදී එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසු සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමට සරඹ භූමියේ ප්‍රධාන පීඨිකාව වෙත ආරාධනා කරන ලදී.

එහිදී, සරඹ පෙළපාලියේ අණදෙන නිලධාරි විසින් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ ගජබා රෙජිමේන්තු භටපිරිස්වලින් සැදුම්ලත් සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලෙස ප්‍රධාන පීඨිකාවේ රුදී සිටි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ගෞරවාචාරය පුදකරමින් ආරාධනා කරනු ලැබීය.

මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලද අතර, අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ රාජකාරියෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සිනමා ශාලාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් රටේ ආරක්‍ෂාව, හදිසි අවස්ථාවන්, ජාතිය ගොඩනැගීම, ප්‍රජා මූලික කටයුතු ආදී ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි වෘත්තීයමය හමුදාවක් ලෙස යුද්ධ හමුදාවේ ඇති වැදගත්කමත්, මනා කැපවීමෙන් හා උසස් විනයකින් යුතුව පවත්වාගෙන යාම අපගේ පරම යුතුකමක් බවත්, විවිධ හැකියාවන්ගෙන් මනා සුදුසුකම් ලත් අපගේ යුද්ධ හමුදා සාමාජිකයින් මානුෂීය මෙහෙයුමේදී මානුෂීය යුද්ධ හමුදාවක් බව ලොවට ඔප්පු කර පෙන්වා දී ඇති අතර, එහිදී සහෝදර සොල්දාදුවන් තම ජීවිත, ශරීර අංග පවා පරදුවට තබමින් අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ඒකීයභාවය නොබියව ආරක්‍ෂා කර ඇති බවටත් යුද්ධ හමුදා සාමාජිකයෙකු වන ඔබ සැම විටම එහි ගෞරවය ආරක්‍ෂා කර ගත යුතු අතර, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට අප සැමවිටම බැදී සිටින බවද මතක තබා ගත යුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රැස්ව සිටි පිරිසට අවධාරණය කලේය.

භටපිරිස් ඇමතීම අවසානයේදී මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ රාජකාරි කරනු ලබන සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.