Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2022 18:17:14 Hours

‘විකුම්පුර’ ගම්මානයේ නිර්මාතෘ සිය මතකයන් අවදි කරමින්, එම ගම්වැසියන් හමුවී ඔවුන් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 542 බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ කාලසීමාව තුළ එම බලප්‍රදේශය තුළ එතුමන්ගේ උපදෙස් මත දියත් කළ ව්‍යාපෘතීන් සිඇසින් දැකගැනීමේ අරමුණින් ඉකුත් සෙනසුරාදා (20) දින එහි සංචාරයක නිරත විය. එහිදි විකුම්පුර ආදර්ශ ගම්මානයේ ගම්වැසීන් හමුවූ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමග සුහඳව අදහස් හුවමාරු කරගත්තේය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරනු ලැබු මෙම නිවාස ව්‍යාපෘතිය විකුම්පුර ආදර්ශ ගම්මානය නමින් නම්කරන ලදී.

එවකට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 සේනාංකයට අයත් 542 බලසේනාවේ බලසේනාධිපති ලෙස කටයුතු කරනු ලැබු වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, රාජ්‍ය ආයතන සහ වන්නි - ආරක්‍ෂක සේනා ආඥාපතිගේ සහයෝගය ඇතිව නිවාස 70 කින් පමණ සමන්විත විකුම්පුර ආදර්ශ ගම්මානයේ, 2009 මැයි මාසයට පෙර උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහිම එල්ටීටීඊ ත්‍රස්තවාදය හේතුවෙන් අවතැන් වූ පවුල් පදිංචි කරන ලදී. ගම්මානයේ එක් නිවසක් පර්චස් 20-40 ක පමණ භූමී ප්‍රමාණයකින් සමන්විත වේ.

එම සංචාරයේදී සිය මතකයන් අවදිකළ විකුම්පුර ආදර්ශ ගම්මානයේ නිර්මාතෘ අදහස් දක්වමින් “ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් අහිංසක සිවිල් වැසියන්, ඔවුන්ගේ වයෝවෘර්ධ මවුපියන් සමඟ පොල්අතු සෙවිලිකළ පැල්පත්වල ජීවත්වූ අතර, ත්‍රස්තවාදීන් විසින් මෙම සිවිල් වැසියන් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමෙන් පසු මිහින්තලය ඇතුළු විවිධ ස්ථානවල ඔවුන් ජීවත් විය. එම පුද්ගලයින්ගෙන් පිරිසක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්. ඒ නිසා, උසස් පොලිස් නිලධාරියෙකු විසින් මෙම පිරිසගේ සැබෑ තත්ත්වය පිළිබඳ මා දැනුවත් කළ පසු, මම ඔවුන් හමුවීමට ගොස් ඊට විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වුණා. ඉන් අනතුරුව, නරිකුඩා ආසන්නයේ රජයේ ඉඩම තෝරාගැනීමෙන් පසු රාජ්‍ය ආයතනවල සහ නැවත පදිංචි කිරීමේ බලධාරීන්ගේ සහයෝගය ඇතිව වර්ෂ 2009 දී නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරා, පසුබෑම් මධ්‍යයේ වුවද අපගේ සාමූහික උත්සාහය හේතුවෙන් 2011 මුල් භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමකිරීමට අපට හැකි වුණා. නව ගම්මානයේ නැවත පදිංචි වූ සිවිල් වැසියන්ට අවශ්‍ය වූයේ එම ගම්මානයට මාගේ නම යෙදීමයි, නමුත් එම අදහසට මා එකග වූනේ නෑ, ” යනුවෙන් එතුමන් ප්‍රකාශ කළේය.

විකුම්පුර ආදර්ශ ගම්මානයේ පදිංචි පවුල් 43ක සාමාජිකයන් හමුවූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඔවුන් සමඟ සුහඳව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ සුවදුක් විමසා ගම්මානය නිරීක්‍ෂණය කළේය. පසුව විකුම්පුර ගම්වාසීන්ට සහල්, පරිප්පු, කරවල, ධාන්‍ය වර්ග, කුළුබඩු, කිරිපිටි ආදියෙන් සමන්විත ත්‍යාග පාර්සල් 43ක් ප්‍රදානය කරන ලදී. විකුම්පුර ගම්වාසීන් යුද්ධ හමුදාපතිතුමන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශංසා කරමින් විකුම්පුර ගම්මානය නිර්මාණය කිරීම සඳහා ලබාදුන් නායකත්වය සහ උත්සාහය කෘතවේදීව සිහිපත් කළහ.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, 54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර, 542 බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.