Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 18:21:31 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් රත්මලාන යුද්ධ හමුදා කඳවුරේ සංචාරයක

යුද්ධ හමුදා ඒකකයන් වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සපයනු ලබන යටිතල පහසුකම් සහ ආහාරපානවල ගුණාත්මකභාවය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය ඉරිදා (14) දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය, රත්මලානේ පිහිටි යුද්ධ හමුදා අතරමැදි කඳවුර සහ 4 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කඳවුරේ ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම කඳවුරුවල මුළුතැන්ගෙයි පරිශ්‍රයන් නිරීක්‍ෂණය කිරිමෙන් අනතුරුව සෙසුනිලයන්ගේ නේවාසිකාගාරයන් ද නිරීක්‍ෂණය කළේය. මුළුතැන්ගෙයි පරිශ්‍රයන්හිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සූපවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ පෞද්ගලිකවම අදහස් හුවමාරු කරගනිමින් දෛනික ආහාර වේල්, ආහාරපානවල ගුණාත්මකභාවය සහ පෝෂණ ගුණයන්, කැලරි ප්‍රමාණය, ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබන මුලුතැන්ගෙයි උපකරණ සහ භට නිවාසයන්හි ගෘහ භාණ්ඩ, ඇඳන් සහ රෙදිපිළි පිළිබඳව සොයාබැලූ අතර එම අවශ්‍යතාවයන් හා පහසුකම්වල තවදුරටත් සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් පිළිබඳව ද විමසා බැලුවේය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. එම නිරීක්‍ෂණ චාරිකාවේදී ප්‍රථමයෙන්ම 4 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කඳවුර වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් අනතුරුව, යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ රත්මලානේ පිහිටි යුද්ධ හමුදා අතරමැදි කඳවුරේ සංචාරය සිදුකළේය.